Search This Blog

Sunday, October 31, 2010

රාජකීය මවුනි , ඔබටයි මේ උපහාරය

හා හා පුරා කියලා ලියන බ්ලොග් කණුව හිතුවා මම ඉගෙන ගත් පාසලට, රාජකීයයට උපහාර කිරීම මගේ යුතුකමක් කියලා. වගේම තමන්ගේ අතීතය අමතක කරන එක එතරම් හොඳ දෙයක් කියලා නෙමෙයි මම නම් හිතන්නෙ. ඒකත් මේ කණුවම ලියන්න  ප්‍රධානම හේතුවක්.

“රාජකීයය . . මගේ පාසල රාජකීයය . .”
එහෙම හිතන කොටත් මට නම් දැනෙන්නෙ අතුපතර විහිදී ගිය මහා වෘක්ෂයක් ගැන විස්තර කරන්න මගේ හැකියාව ප්‍රමාණවත්ද කියලා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, රාජකීයය විශ්වයට දායාද කළ ධීර,වීර,ශ්‍රේෂ්ඨ පුතණුවන්ගේ ප්‍රමාණය මෙතෙකැයි කියලා නිම කරන්න බැරි නිසා. 

ඇත්තටම ඒ අසමසම ශක්‍යතාවට හේතු වෙන්නෙ ඔවුන්ගේ පුද්ගල බද්ධ දක්ෂතාවන් විතරක්ම නෙවෙයි. රාජකීයයෙන් ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කර ගන්න ලබා දෙන පන්නරය කියලයි මට නම් හිතෙන්නේ. තමන්ට තමන්වම හැඩ ගස්වා ගන්න ලබා දෙන පිටුබලයත් ඉස්තරම් . .

ඕනෑම රාජකීයයෙක් ඔහු වර්තමාන රාජකීයයෙක් හෝ ආදී රාජකීයයෙක් වෙන්න පුළුවන්, තමන්ගෙ පාසලේ ගුරුවරයෙකු පාසලේදී හෝ ඉන් පිටතදී හමු වූවොත් දෙඅත් එකට එකතු කරලා ආයුබෝවන් කීම තමයි චාරිත්‍ර. ඒ වගේ පොඩි දෙයක් පවා රාජකීයයකුට ඉතාමත් වැදගත්.

එයයි රාජකීයයේ අනභිබවනීයත්වය, එයයි විශිෂ්ඨත්වයේ ඉණිමඟ . .

රාජකීයය සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී වූ විවිධ ජාතීන් අතරෙ සහයෝගීතාවේ සංකේතයක් කිව්වොත් මම නිවැරදියි. මඳකට සිතන්න . . . ජාති, ආගම්, කුල භේද පසෙකලා සහෝදර බැම්මෙන් බැඳීමට , ධ්‍යාත්මික ගුණ වගාවට පිටුවහල් වන ආකාරය පිළිඹිබු කරන්නට යටකී උදාහරණයම  ප්‍රමාණවත් නොවේද?





රාජකීයයේ විශ්ව මෙහෙවරට වසර 175 ක් සපිරෙන මේ වසරේ රාජකීයය හා නිබඳවම කියවෙන ඉංග්‍රීසි කියමනක සිංහල පරිවර්තනය දක්වන්නම්                                                                                                                        
        "කවුරුන් කෙසේ කීවද,
                                   අපි අපේ සම්ප්‍රදායයන් සමග පෙරටම යන්නෙමු".

2007 උසස් පෙල විභාගයට මාසයකට පමණ පෙර විද්‍යාලීය 2007 කණ්ඩායම් සඟරාවට මා විසින් රචනා කළ නිසඳැසකුත් අවසානයට අමුන්නම්.එහෙම කළොත් හොඳයි කියලා හිතුනෙ මේ කණුව ලියන කොට . . .





                "          නික්ම යන නිමේෂයේ ...

තෙළෙස් වසරක් නිමා වූ ඉම
ප්‍රහර්ෂණයෙන් යුතුව සමරමු . . .
නැණ නුවණ සිප් කිරි පෙවූ,
ජීවමාන මෑණියන් විය නුඹ . . .
මිහිමඬල පොබ කළ කුසුමන් පියුම් නෙක
අසිරිමත් ලෙස සුවඳවත් කළ,
පියකරුම නිලුපුළක් විය නුඹ . . .
විසල් නුඹ ගැබ පුරා විසිරුණු,
තරු රැසින් දිදුලන රැසින්
ලකඹරට පෑ සරා සඳ නුඹ . . .
අභිමනින් පෙරමග පහන් කළ
රාජකීයයන් අසල රැඳවුණු
සදා නොනිමෙන පහන් ටැඹ නුඹ. . .
හදවතින් ගිලිහෙනා පදවැල්
පන්හිඳින් නිම කරනු කෙලෙසද . . .
සහස් සුවහස් කල් පුරා නුඹ
පරපුරෙන් පරපුරට නොසිඳෙන
අමා ගඟුලැල්ල වී. . .
විඩාබර වූ නොමිනිස්කම් තුළ,
එදා මෙදා මෙන්
සිරිලක ජන පවස සනහාලනු මැනවි . . .
පතළව දෙරණත සිසාරා . . .

නික්ම
යන නිමේෂයේ
අදිටන් කරමු මෙලෙස,
'දැයේ කිරුල වන්නට සැමදා නුඹ
                                           උරදෙන්නෙමු දිවිතුරා නිබඳව . . .'       


                                                                                                                     
මේ උත්සාහය රාජකීයය නමැති මහා වෘක්ෂයට අහසින් වැටෙන එක් දිය බිඳක් හෝ වෙන්නට තිබුණා නම් මටත් පුංචි හරි සතුටක් ඇති වේවි.
                                                                                                                 වැජඹේවා ! ! !


රාජකීය වෙබ් අඩවියට . .





.ලි. - පාසලේදී සිදු වුණු රසවත් වගේම හරවත් සිදුවීම් ගැන ඔයාලට පස්සෙ කියන්නම්.